හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අයට සහන ලබා දීම වේගවත් කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට බවත් හදිසි නීතිය පැනවූ අවස්ථාව වන්නේ ජාතික ආරක්ෂාව ඉහළම තත්ත්වයක තිබිය යුතු අවස්ථාවක් බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ජාතික ආරක්ෂාව උපරිම අයුරින් තිබෙනවා කිව්වත් ඇමෙරිකානු සබ්මැරීනයක් අප රටේ අනන්‍ය ආර්ථික කලාපයට ආවා කියා රජය දැනුවත් නොමැති බවත් ඉරාන නැවකට ටෝපිටෝ ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමන තුරු ජාතික ආරක්ෂාව ඉහළ යැයි කියන රජය මේවා නොදැන සිටීම ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදයට එක්වෙමිනි.
මෙවැනි සබ්මැරීන අප මුහුදු කලාපයේ සැරිසරන විට ඒවා සොයා බැලීමට අවශ්‍ය තාක්ෂණය අප රටට නැද්ද කියා ප්‍රශ්න කරන බවත් හදීසි නීතිය ක්‍රියාත්මක කර ජාතික ආරක්ෂාව උපරිම ලෙස පවතිනවායැයි පවසන රජය මේ සිදුවීම් ගැන පවා හරියට විස්තරයක් ඉදිරිපත් නොකළ බවත් මේ තුළින් ජාතික ආරක්ෂාවට අත්වූ ඉරණම ගැන සිතාගත හැකි බවත් දෙවැනි ඉරාන නෞකාවේ සිටි 208ක් බේරා ගැනීමට පෙර පළමු ඉරාන නැවේ සිට 130කට අප රටේ අනන්‍ය ආර්ථික කලාපයේ දී ජීවිත අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ තානාපති කාර්යාල හරහා අනන්‍ය ආර්ථික කලාපය තහවුරු කරන්න ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය වහනවා යැයි විපක්ෂ කියද්දි එවැනි ගැටලුවක් නැති බවට විදේශ ඇමතිවරයා පැවසුවත් මේ වන විට එම සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් මේ නිසා තෙල් මිල දී ගැනීම තුළ බරපතල ගැටලු රැසක් මතුව තිබෙන බවත් මේ අවස්ථාවේ ඇමෙරිකාව ඉන්දියාවට රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට දින 30කට සම්බාධක නතර කර ඇති නිසා අප රටේත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට හා රුසියාවට යවා අප රටට අවශ්‍ය තෙල් නියමිත ආකාරයට ලබා ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ යුද්ධය නිසා තෙල් ගෑස් බෙහෙත් මිල ඉහළ යාවි
හෝර්මූස් සමුද්‍ර සන්ධිය වැසුණු පසු සුබපැතුම් තුඩුව හරහා තෙල් ගෙන එම සති ගණනාවකින් ප්‍රමාද වී ඉන්ධන මිල ඉහළ යාම සිදුවන බවත් මේ වන විටත් තෙල් සඳහා යුධ අධිභාරයක් නිකුත් කර ඇති නිසා තෙල් හා ගෑස් මිල මෙන්ම බෙහෙත් හා ආහාර ආදියේද මිල ඉහළ යන බවත් මේ තත්ත්වයට රජය ලබා දෙන උත්තර පැහැදිලි නැති බවත් මෙය සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් එල්ල වන බවත් සිලෝන් ටී සන්නාමයට ද බලපෑම් සිදුවන නිසා මේ ගැන සෙවිය යුතු බවත් මීට පෙර විපක්ෂය අනතුරු ඇගවීම් කරන විට රජය එය පිළිනොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඉරාන නෞකාව විනාශ කිරීම නිසා සාගර පද්ධතියේ දූෂණයක් සිදු වෙමින් පවතින බවත් තල්මසුන් ඩොල්ෆින් වැනි සත්වයන්ට බාධා රැසක් සිදුවෙමින් පවතින බවත් මෙවැනි තත්ත්වයක් තුළ ගිල්වූ නැවේ ඇති තෙල් සාගර මතුපිටට පැමිණිම නිසා විශාල සමුද්‍ර හානියක් සිදුවන බවත් රජය මේ ගැන වහාම පරිසර ආරක්ෂණ අධිකාරිය පරිසර අමාත්‍යාංශය යොදවා මේ ගැටලුවට විසදුමක් ලබා දිය යුතු බවත් තවත් නිව් ඩයමන්ඩ් එක්ස්ප්‍රස්පර්ල් සිදුවීමක් අප රටට අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග කලාපයේ අප රටේ ශ්‍රමිකයන් මිලියනක ආසන්න පිරිසක් සිටින බවත් මේ ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බි. 8.2ක් පමණ වන නිසා මේ අයගේ රැකියා අහිමි වුවහොත් රට ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් මෙය සාර්ව ආර්ථිකයට උද්ධමනයට හා ආර්ථික වර්ධනයට පවා බලපෑම් සිදුවන බවත් මේ ජීවිත අවදානම අවම කරන්න රජය පියවර ගත යුතු බවත් මේ සියල්ල සිදුවන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක වන විට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජ්‍ය තාන්ත්‍රිකව ජාත්‍යන්තර මුහුදු නීතිය ඇතුළු ප්රඥප්ති හා නීති රීති රෙගුලාසි රැසක් ඇති බවත් මේවා ගැන කතා කළ යුතු බවත් අප රටේ අනන්‍ය ආර්ථික කලාපයේ ඇති නැවකට ප්‍රහාර එල්ල කිරිම මේවා උල්ලංඝනය කිරිමක් වුවත් රජය මෙයට විරුද්ධව වචනයක්වත් කතා නොකළ බවත් මේ ආව සබ්මැරීනය ගැනවත් රජය ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් රජයට මේ ගැන කිසිදු දැනුමක් නොමැති බවත් මේසයයි පුටුවයි ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියූ රජයට අද ජාතික ආරක්ෂාවවත් සුරක්ෂා කර ගන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හදිසි නීතිය ගෙන ආවේ විදුලි පද්ධතිය ආරක්ෂා කර ගැනීමට යැයි කියන රජය නැව් 10කින් බාල ගල් අගුරු ගෙනවිත් ඇති බවත් මේවායින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත නොවන බවත් මේ නිසා හරියට විදුලියවත් නිෂ්පාදනය කරන්න නොහැකි බවත් මේ බාල ගල් අගුරු ගෙන ඇත්තේ හදිසි නිතිය ඇති අප රටේ බවත් මේ බාල ගල් අගුරු නිසා විදුලි බිල පවා වැඩි කරන්න සිදු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
Lanka Newsweek © 2026